ශ්‍රී ලංකාව පුරා ඉතා වේගයෙන් වැඩිවෙමින් පවතින පිළිකාවක් ලෙස හැදින්විය හැක්කේ පියයුරු පිළිකාවයි (Breast Cancer is the commonest cancer in Sri Lanka) . වසරකට 3500ක් 4000ක් අතර සංඛ්‍යාවක් නව පිළිකාවන් ලෙස ශ්‍රී ලංකාව තුල හඳුනාගැනෙයි. මින් 40% හෝ 45% පමණ ප්‍රමාණයක් කල්ගතවූ පිලිකා ලෙස විනිශ්චය වන අතර දල වශයෙන් වසරකට අලුතින් හඳුනා ගන්නා ප්‍රමාණයෙන් 1/3 ක් සුවකල නොහැකි තත්ත්වයක පවතී. කල් ගතවූ පිළිකාවක් ඇතිවීමට හේතු කිහිපයක් ඇත.

  • මසකට වරක් කලයුතු ස්වයං පියයුරු පරීක්ෂණය නොකිරීම.
  • තමාට කිසිසේත් පිළිකාවක් නොවැලදෙන්නේ යැයි සිතීම 
  • පියයුරුවේ දැනුන ගැටිත්ත පිළිකාවක් නොවේයැයි තමා විසින්ම උපකල්පනය කිරීම. 
  • තමාට පිළිකාවක් වැළදීමට කිසිම හේතු සාධක නොමැති හෙයින් මෙය පිළිකාවක් නොවේයැයි සිතීම. 
  • වෛද්‍ය උපදෙස් ගැනිම කල් දැමිම.
  • මෙය පිළිකාවක් වුවහොත් ඊට අදාල ප්‍රතිකාර වලට බයවීම. 
මෙම කාරණා කිසිවක්වත් සාදාරණිය කල නොහැකි අතර මෙය තමා විසින්ම රෝගය උත්සන්නවීමට ඉඩ හැරීමක් ලෙස සැලකේ. 
පිළිකාවක තවත් වැදගත් කරුණක් වන්නේ එහි හැසිරීමයි. මෙය පිලිකාවක ග්‍රේඩ් (grade) එක ලෙස හදුන්වයි. රෝගින්පවා මේ සම්බන්ධව අවදානය යොමු කිරීම අත්‍යවශ්‍යය. ඊට හේතුවවන්නේ ග්‍රේඩ් 3 පිළිකාවක ආක්‍රමණශීලි බවත්, ප්‍රචිලිතභාවයත්, සාමාන්‍ය  ප්‍රතිකාරවලට දක්වන ප්‍රතිරෝධිත්ත්වයත් නිසා සාමාන්‍ය අවස්ථාවන්ට වඩා වේගයෙන් මෙවැනි පිළිකා වර්ධනය වීමට හැකි හෙයිනි. ග්‍රේඩ් 3 පිළිකාවල මෙවන් හැසිරීම හේතුකොටගෙන, සමහර රෝගීන් ගැටිත්තක් දැනගත් විගස වෛද්‍ය උපදෙස් ලබාගැන්මට පැමිණියත්, මෙවැනි පිළිකා වේගයෙන් වැවෙනහෙයින් කල්ගතවූ පිළිකාවක් ලෙස තිබිය හැක. එබැවින් පියයුරුවක හටගන්නා සැම ගැටිත්තක් සඳහාම වෛද්‍ය උපදෙස් ලබාගතයුතුය.
 
පියයුරුවක හටගන්නා ගැටිති පිළිකාවක්යැයි බොහෝදුරට සැක කලයුත්තේ කුමන තත්ත්වයකදීද?
  1. පියයුරු පිළිකා බහුලවම දක්නට ලැබෙන්නේ වයස අවුරුදු 45ත්  55ත් අතර කාන්තාවන්ටය. එබැවින් මෙම වයස් කාණ්ඩයකට අයත් කාන්තාවකට ගැටිත්තක් දැනුනහොත් එය පිළිකාවක් විය හැකි හෙයින් වහාම උපදෙස් ලබාගත යුතුය.
  2. පිළිකාවක් ඇතිවීමට තුඩුදෙන සාධක (risk factors for breast cancer) ඇත්නම්, ඔවුන්ද පියයුරුවේ ඇතිවූ ගැටිත්ත සම්බන්දව ක්ෂණිකව අවධානය යොමුකල යුතුවේ. (පියයුරු පිළිකාවක් වැලදෙන්න හේතු වෙනත් ලිපියක සදහන් වේ.)
  3. තනපුඩුවකින් ලේ ශ්‍රාවයක් සිදුවී නම් (ලේ බින්දුවක් වුවත්) එය අභ්‍යන්තරයේ ඇති පිළිකාවක් නිසා විය හැක.
  4. පියයුරුවේ ඇති ගැටිත්තට අමතරව කිහිල්ල ප්‍රදේශයේද කුද්දැටි හසුවේ නම් එයද පිළිකාවක් නිසා විය හැක.
  5. තන පුඩුවෙන් ආරම්භවන කසන දද තත්ත්වයන්ද පිළිකාවක් විය හැක. මෙයට පැගේට්ස් (Paget’s disease) කියා හදුන්වයි. පැගේට්ස් රෝගී තත්ත්වය හටගන්නේ ඇතුලත ඇති පිළිකාව හෙයිනි.
  6. කල්ගතවුවිට පියයුරුවක සම දොඩම් ලෙල්ලක්සේ ඉදිමි පවතී. මෙවන් තත්ත්වයක් එනතුරු වෛද්‍ය උපදෙස් ලබා නොතිබීම අනුමත කල නොහැක. එලෙසම ඇතුලත ඇති පිළිකාව තවත් කල්යත්ම සම පසාරු කරගෙන තුවලයක්සේ පිටතට පැමිණේ.
breast lump could be cancer | cancer of the breast | Cancer Sri Lanka
Paget's disease of the breast. Copy right Dr Naomal Perera
peau d'orange (Source - http://healthitis.blogspot.com/) - Cancer In Sri Lanka
Peau d'orange. Source - http://healthitis.blogspot.com/

බොහෝ තරුණවියේ පසුවන ගැහැණු ළමුන්ට හටගන්නා ගැටිති ෆයිබ්රොඇඩිනොමා (Fibroadenoma) වේ. මෙවන් ගැටිති වෙරළු ඇටයක් මෙන් අසුවෙන අතර මෙම ගැටිති එහාට මෙහාට පියයුරුව තුල පනින ස්වභාවයක් ගනියි. මෙය පිළිකා  තත්ත්වයක් නොවුවාද පියයුරු පිළිකා වැඩිපුරම දක්නට ලැබෙන්නේ මැදි වයස් කාණ්ඩවල වුවාද වෛද්‍ය උපදෙස් ලබානොසිටීම අනුමත කල නොහැක. 

ශ්‍රී ලංකාවේ පියයුරු පිළිකාවලින් ජයගත් කාන්තාවන් බොහෝය. ඒ සැම කෙනෙක්ම ජයගෙන ඇත්තේ තමාගේ රෝගයට නිවැරදි ලෙස ප්‍රතිකාර ගත් නිසාම නොව, තම අසනීපය කලින් හඳුනාගත් හෙයිනි. ඔබටද එසේ කලහැක.

 
 
 
Leave a Reply